Friday, June 27, 2008

යුද්ධය කියා, හිංසනය සාධාරණීකරණය කරන්න බැහැ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමි
සාකච්ඡා කළේ- තාරා ශ්‍රී රාම්

වධ හිංසාවන්ට එරෙහිවීමේ ජාත්‍යයන්තර දිනය පසුගිය විසිහය වැනි දිනට යෙදී තිබුණා. මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වුණා. නමුත් ලංකාවේ මේ පිළිබඳ ඉතා අඩු උනන්දුවක් තිබුණේ. වධ හිංසාව කියන්නේ ලංකාවේ කතාකිරීමට තරම් වැදගත් කාරණාවක් නොවෙයිද ?
අද සියල්ලම යුද්ධයේ එකවුන්ට් එකට දාලා හැමෝම නිහඬව ඉන්නවා. සියල්ලම සිදුවන්නේ යුද්ධයේ නාමයෙන්. යුද්ධය කියන අස්වාභාවික දේ තුළ මිනිසුන් හැසිරෙන්නේත් අස්වාභාවික විදිහට. නමුත් හිංසනයෙන් මිදෙන්න අනිවාර්යෙන්ම මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා. වධ හිංසනය කතාකිරීමට තරම් වැදගත් නොවන කාරණාවක්ද කියන එක නෙවෙයි ගැටලූව. යුද්ධය හැර වෙන කිසිවක් කතා නොකල යුතුයි කියන එකයි ගැටලූව.

මානව හිමිකම් කේෂ්ත්‍රයේ දීර්ඝ කාලීනව කටයුතු කරන අයෙක් විදිහට ලංකාවේ සිදුවෙන වධ හිංසාවන් පිළිබඳ ඔබ වහන්සේගේ නිරීක්ෂණයන් මොනවාද ?
මේ රටේ සිදුවෙන වධ හිංසාව බොහොම ප්‍රාථමික අවදියක තියෙන්නේ. මිනිස්සුන්ට දෛනික ජීවිතයේ දී සිදුවෙන හිංසනයන් අපට විවිධාකාර පැතිවලින් පෙනෙන්නට තියෙනවා. අපේ සමාජය හරිම ප්‍රථමිකයි. ඒ නිසා වධ හිංසා සිදුවෙන විදිහත් ප්‍රාථමිකයි. ප්‍රමාණාත්මකව වැඩියි.

එවැනි වාතාවරණයක් ඇතිවෙන්න හේතුව කුමක්ද ?
අද මේ රටේ ආර්ථික ක්‍රමය දුෂිතයි. ඉන් එහාට සිදුවෙන සෑම මානව ක්‍රියාවලියක්මත් දුෂිතයි. මුදල හා ලාභය අන් සියල්ලටම වඩා ප්‍රධානයි. ඉහ වහා ගිය දුෂිත ආර්ථික ක්‍රමයක් තියෙන රටක හිංසනය කියන්නෙ බොහොම ස්වභාවික සංසිද්ධියක්.

බෞද්ධ සම්ප්‍රදාය තුළ වධ හිංසාව නම් සංකල්පය අර්ථ දක්වන්නේ කොහොමද?
මුළු බෞද්ධ දර්ශනය පුරාම තියෙන්නේ අවිහිංසාව. එය කුරා කුහුඹියා දක්වාම අදාළයි. බුද්ධාගමේ දැක්වෙන්නේ පසේ ඉන්න පණුවෝ, කෘමීන් වගේ සත්තු මැරෙන නිසා භික්ෂුවට උණු වතුර ටිකක්වත් නිවලා මිස බිමට දාන්න එපා කියලා. වධ හිංසාවන්ට එරෙහිව බෞද්ධ දර්ශනය තුළ පනවා තිබෙන යම් යම් සීමා, තහංචි මොනවාද ? පන්සිල් වලින් පටන් ගත්තාම බුද්ධාගමේ තිබෙන සියලූම ධර්ම කාරණාවලින් වධ හිංසාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොටින්ම ස්වභාවධර්මය විනාශ කිරීමත් වධ හිංසාවක්. අනෙකෙකුගේ අයිතියක් පැහැර ගැනීමක්.

ලංකාව බෞද්ධ ජනතාව බහුතරයක් ජීවත්වෙන රටක්. බුද්ධාගම වධ හිංසාව පිටු දකිනවා. එම පසුබිම තුළ මෙවැනි හිංසනයන්ගෙන් යුතු සමාජක් බිහිවීම මොන විදිහටද දකින්නෙ. අපේ සමාජයේ අසමත්වීම තියෙන්නෙ කොතැනද ?
අපි ධර්මය තුළ වධ හිංසාව කොච්චර ප්‍රතික්ෂේප කළත් ඉතිහාසයේ සිට වර්තමානය දක්වාම මිනිස්සු රජ්ජුරුවන්ට පාක්ෂිකව කටයුතු කළ නිසා ඇත්ත දැනගෙනත් නොදන්නා විධිහට ඉන්න පුරුදු වුණා. වෙන්නෙ මොකද්ද කියලා දැනගෙනත් නොදන්නා සේ සිටීම තමයි මෙහි රෝග ලක්ෂණය. බොරුව, වංචාව, කූට උපක්‍රම ඉදිරියේ මිනිස්සු වහාම නැඟී සිට විරෝධතාව ප්‍රකාශ කරනවානම් මෙවැනි තත්ත්වයකට කොහෙත්ම ඉඩක් නැහැ.

අපේ රටේ ප්‍රශ්න පිටරටවලට ගිහින් කියලා රට අපකීර්තියට ලක්කරන්න එපා කියලා පසුගිය දිනක මහානායක හාමුදුරුවරු ප්‍රකාශයක් නිකුත් කලා. මේ කියන ප්‍රශ්නවලට මෙරට සිදුවෙන බරපතල මානව හිමිකම් කඩවීම් ද ඇතුලත්. ඔවුන්ගේ එවැනි ප්‍රකාශ වලින් පිළිඹිඹු වන්නේ හිංසාව අනුමත කරන දේශපාලන පක්ෂපාතීත්වයක්.
අපි හදන්නේ අලිය පොල් කට්ටෙන් වහන්න. අද තාක්ෂණය අතින් ලෝකය බොහොම දියුණුයි. එක රටක සිදුවන දේ තවත් රටකින් වසන් කරන්න බැහැ. අපි කිව්වත් නැතත් ලෝක ප්‍රජාව දන්නවා අපේ රටේ සිද්ධ වෙන්නෙ මොනවද කියලා. භික්ෂුන් වහන්සේලාගේ මේ වගේ කතා තුළින් පිළිඹිඹු වෙන්නේ ඔවුන් යම් යම් දේශපාලන පක්ෂවල උවමනාවන් නිසා එවැනි ප්‍රකාශයන් කරන බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමේදී ඔබ වහන්සේ ඇතුළු අතුරුදහන් වුවන්ගේ මාපිය දු දරු සංගමයේ බොහෝ පිරිසක් මූලිකව කටයුතු කළා. අද ඔවුන් බොහොමයක් ආණ්ඩුවේ ප්‍රබලයන්. මෑත කාලයේ සිදු වූ අතුරුදහන් වීම් පිළිබඳව අද ඔවුන් දෙසටම ඇඟිලි දිගු වෙනවා.
ඔව්. ඔවුන්ට එවැනි චෝදනා තිබෙනවා. අපේ රටේ ඉන්නෙ කුහක ප්‍රතිපත්ති අනුගමනය කරන දේශපාලඥයෝ. ඔවුන්ට ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට සියල්ල හොඳයි, සාමයත්, හොඳයි. නමුත් විපක්ෂයට ගියාම සියල්ලම නරකයි, කොටින්ම ඊළඟ ආණ්ඩුව ගේන සාමයටත් විරුද්ධයි. පක්ෂ විපක්ෂ භේදයක් නැතිව විවේචනාත්මකව කටයුතු කළයුතු වුවත් මේ රටේ දේශපාලඥයෝ කරන්නෙ කුහක, ප්‍රාථමික දේශපාලනයක්.

ඔබ වහන්සේ වධ හිංසාවන්ට එරෙහිව 88-89 භීෂණ කාලවලදී ප්‍රබල ලෙස වින්දිතයන් වෙනුවෙන් මැදිහත් වුණා. අදත් උදාවෙලා තියෙන්නේ එවැනි මැදිහත්වීමක් අවශ්‍ය කාලයක් නේද?
ඔව්. අද කවුරුවත් දේශපාලනය කරන්නේත් නැහැ. වෙන දෙයක් කරන්නේත් නැහැ. ඒ නිසා මේ වගේ සිදුවීම් සම්බන්ධයෙන් මැදිහත්වීම් කිරීමේ දේශපාලන උවමනාවකුත් ඔවුන්ට නැහැ.

පෞද්ගලිකව තමන්ට වෙන හිංසාවකට එරෙහි වෙනවා හැර පොදුවේ එවැනි සිදුවීම් වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවයක් අද බොහෝ දෙනෙකුට නැහැ.පොදුවේ මැදිහත්විය හැකි ව්‍යාපාරයක් බිහිකිරීමට කැමතිද? පැහැදිලිවම එවැනි ජාතික ව්‍යාපාරයක් සඳහා මැදිහත් වෙන්න මම හරි කැමැත්තෙන් ඉන්නේ. අද මේ රටේ මිනිස්සු අසරණ වෙලා. අන්තිමට කර කියා ගන්න දෙයක් නැතිම වුණාම දුවන්නේ පන්සල්, පල්ලි, කෝවිල්, හොයාගෙන. නමුත් ස්වාධීන ව්‍යාපාරයක් බිහිකරලා ජනතාව ලඟට ගිහිං විවිධ නවීන, තාක්ෂණික ක්‍රමෝපායන් යොදාගෙන කටයුතු කළොත් අපිට පුලූවන් මේ තත්ත්වයෙන් ගොඩ එන්න. අද නීති ක්ෂේත්‍රය තුළම බරපතල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා මේ වින්දිතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී. එතැන සිදුවෙන්නේ මුදල් එක්ක කෙරෙන ගණුදෙනුවක්.

මීට පෙර සංවිධානය කරගත් එවැනි ව්‍යාපාරයන්ට රටේ විවිධ පිරිස් දැක්වු දායකත්වය ගැන සෑහීමකට පත්විය හැකිද?
යම් යම් පිරිස් අපිට එවැනි ජාතික ව්‍යාපාරවලදී උදව් උපකාර කළා. නමුත් අපි නොයෙක් දිනා ගැනීම් කළේ බොහොම සටන්කාමී ලෙස කටයුතු කරලා. විශේෂයෙන්ම අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් මැදිහත් වෙන කොට අපි ලොකු සටනක් කළා. ඒ වගේම බොහොම පීඩනයකටත් ලක් වුනා.
මානව හිමිකම් උල්ලංඝනය වීම තවදුරටත් රටක අභ්‍යයන්තර ප්‍රශ්නයක් නෙවෙයි. අද අපි ඉන්නේ ඒ සංධිස්ථානයේ.
ඇත්ත. අපේ රටට සමානව ආසියාවේ අනෙක් රටවලත් විශාල ලෙස මානව හිමිකම් කඩ වෙනවා. අනෙක් මහද්වීපවල තත්ත්වයත් අඩු වැඩි වශයෙන් මේකමයි. ඒ නිසා මේ ගැටළුව රට ඇතුලේ තියාගෙන, වහං කරගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ලෝක ප්‍රජාවගේම අවධානය දිනාගත් කාරණයක්. මෙතැනදී සමස්ථ ලෝක ප්‍රජාව සමඟ රටවල්වල සිදුවෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බලා කටයුතු කළ හැකි සම්බන්ධීකරණ ජාලයක් හා අප එකතු විය යුතුයි.

යුද්ධයක් පවතින අවස්ථාවක හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙතින් සිදුවෙන හිංසයන් ගැන එළිපිටම කථාකරන්නන් ජාති ද්‍රෝහීන් ලෙස ආණ්ඩුව හංවඩු ගහනවා.
රජයේ හමුදාව කරන යම් යම් මෙහෙයුම් සම්බන්ධව ඔත්තු දීම හෝ ඒවා කඩාකප්පල් කිරීම යුද්ධයක් පවතින මේ මොහොතේ නොගැළපෙනවා විය හැකියි. යුධ මෙහෙයුමේ රහස් පිළිබඳව අපි ප්‍රසිද්ධියේ යමක් කීමෙන් යුද්ධයට පාඩුවක් සිදුවෙනවා නම් අපි එය නොකළ යුත්තක්. නමුත් යුද්ධය පාවිච්චි කර හමුදාව මිනිසුන්ට හිංසාකරනවා නම් ඒක කොහෙත්ම අනුමත කරන්න බැහැ.

ලංකාවේ දැනට පවතින යුධ වාතාවරණය යටතේ වධ හිංසාව සාධාරණීකරණය කිරීමක් කරනවා.
ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස.
කිසිම සාධාරණීකරණය කිරීමක් කරන්න බැහැ. යුද්ධය හෝ වෙනයම් හේතුවක් නිසා සිදුවෙන හිංසනය යම් සමාජයක වැඩිවෙනවානම් එය සාධාරණීකරණය කල යුතුත් නැහැ.

මෑත කාලයේ දෙමළ ජනතාව විශාල වශයෙන් අතුරුදහන්වීම්වලට හා වධ හිංසාවන්ට ලක් වුණා.
තමන්ගේ ප්‍රජාව තුළ සිදුවෙන ඇතැම් සිදුවීම් වලදී අපිට ඒ වෙනුවෙන් යම් මිලක් ගෙවන්න සිද්ධවෙනවා. එතැනදී බිහිවෙන්නේ හිංසාව, පීඩාව නම් කිසිවිටකත් ඒක අනුමත කරන්න බැහැ. නමුත් මේ දේ තමයි අවාසනාවකට ඉතිහාසය තුළ නැවත නැවතත් සිදුවෙන්නේ.

88-89 කාලවලදී තරම් අද වධ හිංසා සිදුවෙන්නේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. මේ තර්කය සාධාරණද ?
71 දී සිදුවුණ සිද්ධියයි, 88- 89 දී සිදුවුණ සිද්ධියයි කියන්නෙ එකකට එකක් වෙනස් සිදුවීම් පෙළක්. 71 දී. සිදුවුණේ කැරළි ගහපු තරුණ තරුණියන් නොමඟ ගිය පිරිසක් ලෙස හඳුන්වා ඔවුන්ව අල්ලාගෙන ගිහින් පුනරුත්ථාපනය කරපු එක. නමුත් 88-89 දී කිව්වෙ මුන්ව මරලම ඉවරයක් කරන්න ඕනෙ කියලා. එහෙම බලද්දී කෲරත්වය වැඩියෙන්ම භාවිතා වුණේ 88-89 කාලවලදී. සිදුවෙන විධිය වෙනස් වුණත් අද දකින තියෙන්නේත් 88-89 දී වුණු සිදුවීම්වල තවත් වර්ධනීය ස්වරූපයක්.

Back to Home Page......