Friday, July 4, 2008

වදහිංසාව ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ චර්යාවක් -නොවැක්


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෲර, අවමන් සහගත, අමානුෂික වධ හිංසා සහ දඬුවම් පිළිබඳ විශේෂ නියෝජිත මැන්ෆ්‍රෙඞ් නොවැක් විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී ඉදිරිපත් කල වාර්ථාවෙන් කොටසකි මේ......

ශ්‍රී ලංකා රජය විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට මා හට ආරාධනා කරන ලදි. මාගේ සංචාරයේ පරමාර්ථය වුයේ රට තුළ වධ හිංසා සහ අවමන් සහගත සැලකීම් පිළිබඳව සොයා බැලීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහය වීම සඳහා රජය සමඟ සහයෝගීතාවයක් ගොඩනඟා ගැනීමයි.

මාගේ සංචාරය තුළදී රාජ්‍ය නිලධාරීන් වන විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා, මානව හිමිකම් සහ ආපදා කළමණාකරණ අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා, නීතිපතිවරයා, පොලිස්පතිවරයා, බන්ධනාගාර කොමසාරිස්වරයා, ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධානීන්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ මානව හිමිකම් පිළිබඳ නීති උපදේශකවරයා යන අය සමඟ සාකච්ඡා කරන ලදි. මීට අමතරව සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගේ සංවිධානවල නියෝජිතයන්, නීතිඥයන්, වෛද්‍ය වෘත්තිකයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් හා රාජතාන්ත්‍රික නිලධාරීන් ද හමුවන ලදි.

එමෙන්ම සීමා කිරීම් වලින් තොරව බන්ධනාගාර නීරීක්ෂනයට, පොලිස් රැඳවුම් ස්ථාන නිරීක්ෂනයට, රැඳවියන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කිරීමට ඉඩ ලබාදීම පිළිබඳව පොලිස්පතිවරයාටත් , බන්ධනාගාර අධිකාරී ජෙනරාල්වරයාටත් ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය, නිව් මැගසින් බන්ධනාගාරය (කාන්තා අංශය), අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, ගල්කිස්ස පොලීසිය, රත්මලාන පොලිස් මුරපොල, පානදුර උතුර පොලීසිය. නිරීක්ෂනය කරන ලදි. ගාල්ලේදී බූස්ස ත්‍රස්තවාදී විමර්ශන දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගැනීමේ මධස්ථානය නිරීක්ෂනය කළ අතර ත්‍රිකුණාමලය සහ තදාසන්න ප්‍රදේශවලදී ත්‍රිකුණාමලය බන්ධනාගාරය, ත්‍රිකුණාමලය පොලිස් මුලස්ථානය, චීන වරාය පොලිස් මූලස්ථානය, කන්තලේ පොලීසිය, පොලොන්නරුව පොලීසිය, පොලොන්නරුව බන්ධනාගාරය නීරීක්ෂනය කරන ලදි. මහනුවර ආශ්‍රිතව බෝගම්බර බන්ධනාගරය, කටුගස්තොට පොලීසිය, සහ වත්තේගම පොලීසිය නිරීක්ෂනය කරන ලදි.

සංචාරයේ පරමාර්ථය

මෙහිදී මාගේ සංචාරයේ අභිමතාර්ථය වුයේ මුලික වශයෙන් රට පුරාම සිදුවන වධ හිංසා සහ අවමන් සහගත සැලකීම් පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමයි. මෙහිදී ශ්‍රී ලංකා රජයේ පොලීසිය සහ සන්නද්ධ හමුදාවලට එල්ල වන වධහිංසා සහ අවමන් සහගත සැළකිලි පිළිබඳ චෝදනා පමණක් නොව වර්තමාන අර්බුදයේ කොටස්කරුවන් වන එල්ටීටීඊ සංවිධානයේ සහ වෙනත් කණ්ඩායම් සම්බන්ධයෙන් එල්ල වන වධ හිංසා සහ අවමන් සහගත සැලකීම් පිළිබඳ චෝදනා සොයා බැලීමද මාගේ අරමුණ විය.

ඉතා බරපතල මට්ටමේ මානව හිමිකම් කඩවීම් වන වධහිංසා සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් රාජ්‍ය සන්නද්ධ හමුදාවට සහ රාජ්‍ය නොවන සන්නද්ධ හමුදා (එල්ටීටීඊ හා කරුණා කණ්ඩායම) වලට විරුද්ධව චෝදනා අප හමුවේ ඉදිරිපත් විය.

කෙසේ වෙතත් එම සන්නද්ධ හමුදා ඔවුන්ගේ පරිශ්‍ර තූළ රැඳවියන් රඳවා නොගන්නා බව තදින්ම කියා සිටි නිසා එවැනි ස්ථානවල රඳවා ගැනීමේ පහසුකම් පිළිබඳව සොයා බැලීමට නොහැකි වුනි. කිලිනොච්චි බලායාමට මා හට අවසර නොදීම නිසා එල්ටීටීඊ නායකත්වය සමඟ සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ රඳවා ගැනීමේ පහසුකම් නිරීක්ෂනයට ඉඩ නොලැබුනි. එනිසා අර්බුදයේ ඉහත කියන ලද සන්දර්භය තුළ වධ හිංසා සහ අමානුෂික සැලකීම් පිළිබඳව නිගමනයකට එළඹීමට නොහැක. එමනිසා වධ හිංසා සහ අවමන් සහගත සැළකීම්, රඳවා තබා ගැනීමේ තත්ත්වයන් පිළිබඳව මාගේ සොයා බැලීම මුලිකවම පදනම් වූවේ හදිසි නීති රෙගුලාසි ඇතුලූ සාමාන්‍ය අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය මතයි.

වධ හිංසාවල භාවිතය

ශ්‍රී ලංකා රජය මා සමඟ එකඟ නොවුනද, නීතිපතිවරයා වධ හිංසා සඳහා අධිචෝදනා පත්‍ර විශාල සංඛ්‍යාවක් අධිකරණ හමුවේ ගොනු කළද,ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය සාර්ථක මුලික අයිතිවාසිකම් නඩු විශාල සංඛ්‍යාවක් තීන්දු කළද, එලෙසම දිනපතාම පාහේ ජාතික මානව හිමිකම් කොම්ෂන් සභාවට දිගින් දිගටම විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබීමෙන්ද ශ්‍රී ලංකාව තුළ බහුලවම වධහිංසා සිදුවන බව මගේ මතයයි.

මගේ නිරීක්ෂනය අනුව වධ හිංසාව ත්‍රස්තවාදී කටයුතු මර්ධනයේදී ත්‍රස්තවාදී විමර්ශන දෙපාර්තමේන්තුව චර්යාවක් ලෙසම යොදා ගැනීමට නැඹුරු වී ඇති බවයි. පොලිස් ස්ථාන වලදී, බන්ධනාගාර තුළදී, පොලිස් නිලධාරීන් සිය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන අතරේදී පාපොච්චාරණයන් ලබා ගැනීමට සහ අපරාධවලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට අදාළව තමන් අවමන් සහගත සැළකිලිවලට ලක්කල බව මගේ සංචාරය පුරාවට රැඳවියන් විශාල සංඛ්‍යාවක් කියා සිටින ලදි. ඒ හා සමාන චෝදනා ශ්‍රී ලංකා යුධ හමුදාව සම්බන්ධයෙන්ද ලැබී තිබුනි. ඔවුන් විවිධාකාරයේ ආයුධ භාවිතා කරමින් පහර දීම, යටි පතුල් වලට පහරදීම, කන් තුලට කම්පනයක් ඇතුලූ වන පරිදි පහරදීම වැනි ක්‍රමවේදයන්ද භාවිතා කල වාර්තා වුනි. තවද, රත්කල යකඩ උපකරණ වලින් හෝ දුම්වැටි වලින් පිළිස්සීම, මිරිස්, ගම්මිරිස් හෝ ලාම්පු තෙල් සහිත ප්ලාස්ටික් බෑග් මඟින් ශ්වසනය අවහිර කිරීම සහ ප්‍රජනන ඉන්ද්‍රියන්ට විවිධාකාරයෙන් කරනු ලැබූ වධ හිංසා වෙයි. ඉහත කී ආකාරයේ වධ හිංසා විශාල වශයෙන් බූස්ස ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ රඳවා ගැනීමේ කඳවුරෙන් වාර්තා විය.

වධ හිංසා වලට ලක්වු වින්දිතයන් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි කිරීම වැළැක්වීම සඳහා තර්ජනය කර බිය වැද්දීම බහුලව වාර්තා විය. තවදුරටත් වධ හිංසා කරන බවට හෝ ගොතන ලද අපරාධ නඩුවක් එනම්, අන්තරාදායි විෂ මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් බවට හෝ අන්තරාදායි ආයුධ ලඟ තබා ගත්තා යැයි චෝදනා කරන බවට බිය වැද්දීම එසේ තර්ජනය කිරීම් අතර වේ. රැඳවියන් බොහෝවිට ප්‍රකාශ කළේ, හෙබයාස් කෝපූස් පෙත්සම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාග වුවද ඔවුන් එම පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන නිසාත්, මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන්ට සිදුවන අවමන් සහගත සැළකිලි විමර්ශනය නොකරන නිසාත්, තමන්ට මේ පිළිබඳව පැමිණිලි කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි. වෛද්‍ය පරීක්ෂණ බහුල වශයෙන් සිදුවන්නේ අදාළ අපරාධයට හෝ වධහිංසාවට සම්බන්ධ නිලධාරීන් ඉදිරිපිටදී වන අතර බොහෝ විට සුලූ අත්දැකීම් සහිත කණිෂ්ට වෛද්‍යවරයකු තුවාල වාර්තාගත කිරීම සිදුකරනු ලබයි.

වගකීම සහ වැළකීම

සාමාන්‍යයෙන් මා නිරීක්ෂනය කළ පරිදි ශ්‍රී ලංකාව තුළ දැනටමත් වධ හිංසා සහ දඬුවම් වලින් මිදී සිටීමට අවශ්‍ය මුලික සාධක පවතී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය අනුව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම, 1994 කෲර අවමන් සහගත වධ හිංසාවලට එරෙහි පනතේ ප්‍රතිපාදන අනුව අධිචෝදනා නිකුත් කිරිම, සැකකරු පැය 24 ක කාලයක් තුළ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම, පුහුණු අධිකරණ වෛද්‍යවරයකු ලවා (JMO) අදාළ වෛද්‍ය පරීක්ෂණය මෙහෙයවීම, ජාතික මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු මෙහෙයවීම දැක්විය හැකිය.

විශේෂයෙන්ම වධ හිංසා චෝදනා පිළිබඳ විමර්ශන කිරීම සඳහා පොලීසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් ස්ථාපිත කර තිබීමෙන් වධහිංසා වැළැක්වීමට රජයේ ඇති කැපවීම පෙන්නුම් කරයි. (උදාහරණ ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හා වධ හිංසාවලට වරදකරුවන්ට එරෙහි නඩු පැවරීමේ ඒකකය දැක්විය හැකිය.)

කෙසේ වෙතත් සැලකිය යුතු විශාල අඩුපාඩු ඉතිරිවී තිබුණත් දිවයින පුරා පිහිටි රැඳවුම් කඳවුරුවලට පුර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම වේලාවක ඇතුල්වී රැඳවියන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කළ හැකිවිය. එහෙත් ඔවුන්ට ස්වාධීන වෛද්‍ය පරීක්ෂණයකට යොමු විය හැකි ස්වාධීන ක්‍රියාකාරී ව්‍යුහයක අඩුව පවතින බව පෙනී යයි. මා දැඩිව විශ්වාස කරනුයේ මෙවැනි ක්‍රියාමාර්ගයකින් වධ හිංසා අවම කර ගතහැකි බවයි. නමුත් ශ්‍රී ලංකාව තුළ දැනට මෙම කාර්යය කිරීම සඳහා ඇති ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකිය.

1994 කෲර අවමන් සහගත වධ හිංසා වලට එරෙහි පනත පැනවීම මම අගය කරන අතර එමඟින් වධ හිංසාව අපරාධ වරදක් බවට පත්කර වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කර ඇත. එමෙන්ම නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ මෙම පනතට අදාළව ගොනු කරන ලද අධිචෝදනා පත්‍ර සංඛ්‍යාව මා ධෛර්යමත් කරන්නක් විය. නමුත් මෙම කාලය තුළම අධිචෝදනා පත්‍ර වලින් වරදකරුවන් බවට පත්වීමෙන් අවසන් වූයේ තුනක් පමණක් වීම පිළිබඳව මා පසුතැවිලි වෙමි. මෙම ප්‍රතිඵලය ලැබීමට එක හේතුවක් ලෙස මම දකින්නේ මෙම පනතේ ඇති අවම දඬුවම අනිවාර්ය වසර 07 ක් ලෙස දක්වා තිබීමයි. මෙනිසා මෙම නීතිය වරදකරුවන්ට එරෙහිව ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාත්මක වීම සිදු නොවේ. අනෙක් කරුණ වන්නේ කාර්යක්ෂම නිල මට්ටමේ විමර්ශන කාර්යාංශයක් (CAT)සම්මුතියේ 12 වන ව්‍යවස්ථාවට අනුව නොමැති වීමයි.

රඳවා තැබීමේ තත්ත්වයන්

එලෙසම රඳවා තබා ගැනීමේ තත්ත්වයන් පිළිබඳවද මම උනන්දු වෙමි. රජය සපයන ලද සංඛ්‍යා දත්ත අනුව පෙන්නුම් කරනු ලැබුවේ බන්ධනාගාර තුළ නියමිත සංඛ්‍යාවට වඩා රැඳවියන් ඇති බවයි. සියළු බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් ප්‍රමාණය 8,200 ක් ලෙස දැක්වුවද සත්‍ය ලෙසම එහි රඳවා ඇති සංඛ්‍යාව 28,000 ක් විය. මෙලෙස රඳවා තබා ගැනීමම කෲර සහ අවමන් සහගත තත්ත්වයක් බවට ජාත්‍යන්තර හා ප්‍රදේශීය මානව හිමිකම් කාර්යාංශ පෙන්වා දී තිබුනි.